ඇත්ත සොයන්නෙක්
මම බස් නැවතුම්පොලේ ඉන්න වෙලාවෙයි මිස්ට එදිරිසිංහ මහනුවර කච්චේරි ගේට්ටුවෙන් එලියට එනවා දැක්කේ. අපි දෙදෙනා හමුවී තිබුනේ ගමේ ශ්රමදානෙකදී එකම සැරයක් පමනක් වුනත් මිනිහා හඳුනා ගන්න මට අමාරුවුනේ නෑ.
“මිස්ට එදිරිසිංහ වැඩකට ඇවිල්ලා වගේ. මාව මතකද දන්නෙ නෑ - අපි අර පාර කැපූ ශ්‍රමදානේ දවසේ හම්බවුනේ…”
“මතක නැතුව මොකද - හේරත් මහත්තයා නේද? අර අපෙ ඉස්කෝලේ හිටපු ලොකුමහත්තයා එක්ක නේද ආවේ?”
“හරියට හරි - ඒ මගෙ මාමා; අම්මගෙ මල්ලී. කොහොමද පාරේ වැඩ ඉවරද?”
“පාර නම් ඉවරයි - තව පොඩි වැඩ වගයක් ඉතුරුවෙලා තියෙනවා හැබැයි. ඒකයි මේ එහෙ මෙහෙ දුවන්නේ, ඉස්කෝලේ ඇරුනට පස්සේ”
“තේ එකක්වත් බොන්න වෙලා තියෙනවද?”
“… දැන් නම් බෑ මහත්තයා - ගිහින් ඊලඟ බස් එක අල්ලා ගන්න ඕනෑ… මහත්තයා ගමේ ආවොත් හම්බවෙන්න බැරියැයි?”
“බලන්නම්කෝ ආයෙ මාමලා බලන්න ආ දවසක”
“මං ගිහින් එන්නම් එහෙනම්”
“හොඳයි මිස්ට එදිරිසිංහ”
ගමේ ඉස්කෝලෙට ගුරු පත්වීමක් ලබාගෙන ආ මිස්ට එදිරිසිංහ ‘පිටගං කාරයෙක්’ වුනාට අපෙ ගමට වටිනා එකතුවක් හැටියට බොහෝ අය පිලිගත්තා. පාසැලේ කටයුතු වගේම ගමේ වැදගත් රාජකාරි ගනනකට එයා ස්වේච්චාවෙන් ඉදිරිපත්වුනා. ශ්‍රමදාන ව්‍යාපාර, සමිති සමාගම්, උත්සව වැනි අවස්ථාවලදී එදිරිසිංහ මහත්තයා අනිවාර්යෙන්ම එකතුවුනා. කතාබහෙන් මෙන්ම පෙනුමෙන්ද ප්‍රසන්න වූ නිසා එයා ගැමියන් අතර ජනප්‍රිය වෙන්න වැඩි කල් ගියේ නෑ.
ගමේ ගිය වෙලාවක මනුස්ස්සයා හම්බවෙන්න මම තීරනයකරගත්තා.
…………………….
කොන්තරක් වැඩයි ගෙදර අනික් පොඩි පොඩි වැඩයි නිසා සති තුනකට මම ගමේ යැවුනෙ නෑ. අංතිමට කමලට එයාගෙ අම්මලාගෙ ගෙදර යන්න ඕනෑ කිවූ නිසයි මම ගමේ යැවුනේ. අපි දෙන්නා සෙනසුරාදා දවසක යන්න පිටත්වුනේ කමලා එයාගෙ අම්මලාගෙ ගෙදර බස්සලා මම ගමේ ගියේ පොල්, කෙසෙල් වැනි ගෙදරට අවශ්‍යදේ ගමෙන් පටවාගෙන එන්නයි. කමලා එදාම හවස බස් එකේ ගෙදර එන්නත් මම රෑ ගමේ නැවතිලා ඉරිදා ආපහු එන්නත් අපි තීරනේ කරගත්තා. මිස්ට එදිරිසිංහ හමුවීමක් සිහියට ආවෙම නෑ ගමනට පිටත් වෙන වෙලාවේ. පුදුමෙකට වගේ එයා මට හමුවුනේ මාමලාගෙ ගෙදරදී එදාම හවසයි.
“මොකද පුතා කමලා දුව ආවෙ නැත්තේ?”
“නෑ නැන්දා - එයා ඇවිත් නැන්දම්මලාගෙ ගෙදර බැස්සා, රෑ වෙන්න ඉස්සර බස් එකේ ආපහු යන්න ඕනැ කියලා”
“ඔවු ඉතින් පොඩ්ඩෝ ගෙදරනේ….”
නැන්දා දීපු තේ කෝප්පෙත් අතට අරගෙන මම මාමා දිහා බැලුවා.
“කෝ සුනිලයියා?”
“අර ගෙපල කපන්න යන තැනට ගියා… තවම ලොක්කට සැකයි වගේ අර මිනිහා ඇඳපු ප්ලෑන් ගැන”
“ඒ මොකද? මිනිහා හොඳ ආකිටෙක් කෙනෙක් කියලා අයියා කිව්වේ”
“මට හිතෙන්නේ ගෙදර ලොකු වැඩියි කියලා හිතට ඇවිල්ලා…. ඇත්තනේ පුතා … ගෙදරක් හදනකොට හිතෙන්නේ දරුවෝ එහෙම ආපු කාලෙක ඉන්න ඉඩ තියෙන්න ඕන නේද කියලා. නමුත් ලොක්කා යටි හිතෙන් දන්නවා ආයෙ දරුවෝ මෙහෙ එන එකක් නෑ කියලා, දවසකට දෙකකට වැඩිය ඉන්ට. වසන්තා දුව නැති පාළුව දැනෙනවා වෙලාවෙන් වෙලාවට…”
“මේ තේ එක බීලා මම ඔය ගෙපල ලඟට ගිහින් එන්නම් මාමා”
මාමා නැන්දා දිහා බැලුවේ ප්‍රශ්නයක් අහන්නෙක් වගේ.
“යං - මාත් .එන්නන්… අපි ලොක්කට තේ බෝතලේකුත් අරගෙන යමු”
මාමයි නැන්දයි තවම අයියා බලාගන්නේ ලඟදී අමාරු ලෙඩකින් සුවවුන පොඩි එකෙක් බලාගන්නවා වගේ. මේ දෙන්නා පොඩිකාලේ නංගියි මමයි බලාගන්න ඇත්තෙත් එහෙම වෙන්න ඇති කියලා මට හිතුනා.
මම අයියට තේ එකක් දීලා මාත් එකක් වක්කරගත්තා. තේ උගුරක් බීලා සිගරට් එකකුත් පත්තුකරලයි අයියගෙන් ඇහුවේ ගෙපලේ වැඩ කටයුතු ගැන.
“මොනවද මලයා … මට සමහරවිට හිතෙනවා අළුත් ගෙදරක් මොකටද කියලත්”
“ඒවා ඉතින් අයියට ඇරුනුකොට වෙන කාටවත් ඩිසයිඩ් කරන්න බෑ නේ. හොඳක් තියෙන්නේ අයියට කිසි හදිස්සියක් වෙන්න හේතුවක් නෑ”
“ඒක නම් ඇත්ත තමා….”
මාමා මේ ගැන වැඩි දුර කතා කරන්න නොකැමති නිසා වෙන්න ඇති මාතෘකාව වෙනස් කරේ.
“පුතාට අර මිස්ට එදිරිසිංහ හම්බවුනා කියන්නේ ටවුමේ?”
“ඔවු මාමා - කච්චේරිය ඉස්සරහ. හැබැයි වැඩිය කතා කරන්න වෙලාවක් තිබුනෙ නෑ, මිනිහා බස් එක අල්ලන්න යනවා”
“මට කිව්වා… අර ශ්රමදානෙන් කපාපු පාරේ ඉතිරි වැඩ ටික ඉවර කරන්න දැන් එහෙ මෙහෙ දුවනවා”
“පාර ඉවරනම් ආයෙ මොනවද?”
“පුතාට මතක නේ අර අවුරුද්දකට සැරයක් කරන්ට තියෙන පූජාව, අට්ටික්කා ගහ ලඟ?”
“ඒක ඔය හැටි දෙයක්ද?”
අයියට මේ කතාව අළුත්.
“මොකද්ද ඔය අට්ටික්කා ගහ ලඟ පූජාවක්? අර අප්පුහාමිටද? මොකොද ඌට පූජා දෙන්නේ?
එතකොටයි අපිට මතක්වුනේ පාර කැපීමේ ශ්‍රමදාන දවස්වල සුනිලයියා තවම ගාල්ලේ කියලා. පාර කැපීමේ ගැටළුයි විසඳුමයි ඉස්මතුවුනේ අයියා ගමේ එන්න ඉස්සරවෙලා. මාමා කතාව කෙටියෙන් අයියට කිව්වා.
“මේකයි වැඩේ. අර තේ වත්තේ ඉඩම් ලැබුන අයට පාරක් කපන්න ශ්රමද්හනයක් සංවිධානය වුනා, ග්‍රාමසේවකයි, පන්සලේ හාමුදුරොවොයි එහෙම මුල්තැන අරගෙන… ගමට අළුතෙන් ආපු ඉස්කෝලේ මහත්තයෙකුත් මහංසිවෙලා වැඩ කෙරුවා. ඒ තමයි මිස්ට එදිරිසිංහ - හොඳ මනුස්සයා. වැඩේ තියෙන්නේ, පාර කපනකොට අට්ටික්කා ගහ වටේට පස් ගොඩවෙනවා… අප්පුහාමිට මේක ඇල්ලුවෙ නෑ; මට ඒකේ වැරැද්දක් කියන්ටත් බෑ. අංතිමට අප්පුහාමී එදිරිසිංහ මහත්තයට කරදර වෙන විදිහට වැඩක් කරා - මොකද්ද කියන එක වැදගත් නෑ. අංතිමට මේ පුතයි මායි අප්පුහාමිට කතා කරලා තමයි වැඩේ බේරගත්තේ. ගහ වටේට පස් දාන එකට ගෙවීමක් හැටියට අපි පොරොන්දුවුනා අවුරුද්දකට සැරයක් අට්ටික්කා ගහට පූජාවක් කරන්ට. කතාව ඒකයි”
“මොකද්ද ඉතින් කරදරේ? පූජාව සම්පූර්න කරන්න බැරි කොන්දේසි තියෙනවද? එහෙම කොන්දේසි වලට එකඟවුනාද?”
මගෙ හිතටත් ඒ වගේ ප්‍රශ්නයක් ආවා. මට මතක විදිහට අපි කිසිම කොන්දේසියකට අත්සන් තැබුවෙ නෑ.
“වෙලා තියෙන්නේ කොන්දේසියක ප්‍රශ්නයක් නෙවෙයි… ප්‍රශ්නේ එදිරිසිංහ මහත්තයා…. නිකම්ම ගමේ අයට කතා කරලා පූජාවක් ලෑස්ති කරන්නේ නැතුව එයා ‘අට්ටිකා ගහේ දෙයියෝ’ ගැන ගැඹුරට හාර හාරා හොයලා බලනවා - මේක පටන්ගත්තේ කොයි කාලෙද, මිනිස්සු ඇත්තටම විශ්වාස කරන්නේ මොනවද, පරන පූජා ගැන මොනවත් සටහන්වෙලා තියනවද - මේ වගේ ප්‍රශ්න වලට උත්තර හොයනවා පූජාවක් කරන්ට ඉස්සර! අපෙ කාලේ වගේ නෙවෙයි මිනිහා වැඩ කරන්නේ - ඉස්සරවෙලා ඇත්ත නැත්ත සොයලා බලනවා!.... මේක අපිට කරදරයක් වෙන්ට පුළුවන් - අපෙ දෙයියෝ ගැන කිසිම රෙකෝඩ් එකක් නැති වෙන්ට ඉඩ තියෙනවා!”
“මාමා - මිනිහා කොහෙන්ද මේ ප්‍රශ්න වලට උත්තර හොයන්නේ?”
“ඒක හොඳ ප්‍රශ්නේ… මං හිතුවේ මිනිහා අපෙ හාමුදුරුවන්ට කතා කරලා එතනින් වැඩේ කම්මුතු කරගනියි කියලා - මොන පිස්සුද; මිනිහා ඉන්ටනෙට් එකෙයි පරන ඉංග්‍රීසි ආංඩු කාරයෝ ලියපු දේයි, යුනිවසිටි එකේ උන් ලියපු ඒවයි කියවලා ඒවා ගමේ අය කියනදේත් එක්ක සසඳලා බලනවා. මිනිහා හරියට ඒජංත විබාගෙට ලෑස්ති වෙනවා වගේ!”
මාමගේ කැළඹීම මට තේරුම් ගන්න පුළුවන්. දෙවියෙක් ඉන්නවා කියන එකට සාක්කි සොයාගන්න බැරිවුනොත්? එදිරිසිංහ පූජාවට විරුද්දවෙයිද? විරුද්දවෙලා ගමේ අය ඒ පැත්තට හරවාගනීද? එහෙම වුනොත් අප්පුහාමී මොනවා කියයිද, කරයිද?
අනික් අතට එහෙම ගවේෂණ කරපු කෙනෙක් පූජාවට සහයෝගය දුන්නොත් අප්පුහාමිගෙන් කරදර ඉවරයි - අඩුගානේ අට්ටික්කා ගහට පස් දාපු එකට අදාල කරදරවලින්. මට දැනෙනවා එදිරිසිංහ ‘හරි’ පැත්තට ඇදගන්න එක බොහොම වැදගත් කියලා.
“කොහොමද අපි මිනිහට දෙයියෝ ඉන්නවා කියලා ඔප්පු කරන්නේ? - නෑ… නෑ … අප්පුහාමී ලව්වා ප්‍රාතිහාර පෙන්නලා නෙවෙයි, මම කියන්නේ - අපෙ වචනෙන් විතරක් පුළුවන්ද මිනිහට ඒත්තු ගන්වන්න මේක වෙන්න ඕන පූජාවක් කියලා”
අයියට මේ තත්වේ ඒ තරම් බැරෑරුම් කමක් ඇති කියලා පෙනුනෙ නෑ.
“අප්පුහාමිට පූජා ඕනනම් එයාටම බැරිද එදිරිසිංහට කියන්න ‘පූජාවක් නොලැබුනොත් තොගෙ කන පලනවා!’ කියලා? අනික, ඕකට එදිරිසිංහම ඕනැද? මොකද්ද මිනිහගෙ වැදගත්කම? අපිට බැරිද ගමේ නෑදෑයෝ කීපදෙනෙක් අල්ලගෙන පූජාවක් තියන්න? හරියට නත්තල් පාටියක් වගේ පූජා පාටියක් … නැත්තම් අට්ටික්කා පාටියක්!”
සුනිලයියගෙ විහිළුවට වඩා මාමගෙ හිතට වද දුන්නේ මාමත් මමත් කිට්ටුවෙන්ම සම්බන්ද දේකට තමාගේ ලොකු පුතාගේ සම්බන්දය සුළු වීමයි. ඒ තමාගේ වගකීම පැහැර හැරීමක් හැටියට මාමා දකින්න ඇති.
“ලොක්කා … අප්පුහාමී ‘නිකම් ගස් දෙයියෙක්’ කියලා පහත් කරලා සලකන්න එපා. එයාට කරන්න පුළුවන් දේ බොහොමයි - සෑහෙන බලයක් එයා සතුයි. උදාහරනයක් - දැන් අපි තුන්දෙනා කියන කරන හැම දේම අප්පුහාමී දන්නවා. ඕන ඔට්ටුවක් ලොක්කට අප්පුහාමී මුනගැහුනොත් ‘අට්ටික්කා පාටිය’ ගැන අහනවා - ඒ අපි කියන, කරන, හිතන හැම දේම දන්නවා කියලා පෙන්වන්න මිස තරහකට නෙවෙයි….මම හිතන්නේ…”
“අප්පච්චී කියන්නේ අපි අප්පුහාමිට බයෙන් ඉන්න ඕන කියලද?”
“අපෝ නෑ… බයවුනත් නැතත් එයාට ගානක් නෑ. අප්පුහාමිට බයවෙන එක හරියට පාරේ යන බස් එකකට බයවෙනවා වගේ - කිසි වැඩක් නෑ. ඒකෙන් අපිට කිසි කරදරයක් නෑ - එන බස් එක ඉස්සරහට නොපැන්නොත්! අප්පුහාමියි අපියි දෙපක්ෂෙටම පුළුවන් සාමකාමීව එකට ජීවත් වෙන්න - ගුටි කෙලගන්නෙ නැතුව”
අයියගෙ හිතේ අපහසුව නැතිකරන්නයි මම ඉක්මනට කතා කරේ.
“මාමා…. අයියා අපි තරම්ම අප්පුහාමිගෙ හැකියාවන් දැකලා නෑ නේ. අනික, අයියගෙ දෙවනි ප්‍රශ්නේ වැදගත් - ඇයි එදිරිසිංහ අවශ්‍ය කියන එක. මං හිතන්නේ මාමටවත් පංසලේ හාමුදුරුවන්ටත් වෙදමහත්තයටත් නැති බලයක් එදිරිසිංහට තියෙනවා - ඒ බාල පරපුරෙයි සාමාන්‍ය ගැමියන්ගෙයි සපෝට් එක. එහෙම කට්ටිය නැතුව අවුරුදු පතා මහෙම පූජාවක් කරගන යන්න බෑ…. මගෙ ප්‍රශ්නේ - කොහොමද අපි මිස්ට එදිරිසිංහත් එක්ක මේගැන කතා කරන්නේ?”
“ඒ තමා ලේසිම ප්‍රශ්නේ! අද හවස එදිරිසිංහ මහත්තයා එනවා කිව්වා මේවා ගැන කතා කරගන්නත් එක්ක. එයා මගෙන් ඇහුවා ලොක්කා ඉස්කෝලේ ලොකු පංතිවල සමිතියට කතාවක් පවත්වන්න කැමතිද කියලා - ගාල්ල පලාතත් මේ පලාතත් වෙනස් කොහොමද කියලා!”
……………………………..
එදිරිසිංහ මහත්තයා නැන්දා අල්ලපු තේ කෝප්පේ අතට ගත්තේ අචාරසම්පන්නව ‘ස්තුතියි’ කියලා නැන්දට ඔළුව නමා හිනා වෙලයි.
“තව අග්ගලයක් වත් කන්ට එදිරිසිංහ මහත්තයා” නැන්දා කිව්වේ ස්තුතිය ආචාරසම්පන්නව පිලිගනිමිනුයි. ඉස්කෝල ගුරුවරු විශ්‍රාම ගියත් වෙනස් නොවෙන බව මට ඒ වෙලාවේ හිතුනා.
“මිස්ට එදිරිසිංහ අපෙ ගමේ මිනිස්සුන්ගෙ චාරිත්‍ර වරිත්‍ර වලට දැන් පුරුදුයිද?”
“ලොකු නෝන මහත්තයට කිව්වට මොකද, මම මෙහාට පත්වීම ගත්තේ කැමැත්තකින් නෙවෙයි -කිව්වට තරහවෙන්න එපා. තංගල්ලටත් එහා ඉපදුන මම මේ පත්වීමට ඉස්සර නුවර ඇවිත් තිබුනේ දෙසැරයයි. මේ ගමට එන එක හරියට පිටරට යනවා වගේ මට දැනුනේ!”
“පවුලේ අය, නෑදෑයෝ එහෙම ගමේ තව ඉන්නවද?”
“සුනිල් මහත්තයා, අම්මයි තාත්තයි කරමැටියේ තවම ඉන්නේ - අර හුංගම කලපුව කිට්ටුව. අක්කයි අක්ක බැඳපු එක්කෙනයි ඉන්නෙත් ඒ කිට්ටුව. මල්ලී විතරක් ගල්ලේ කාලයක් වැඩකරලා දැන් තංගල්ලේ…. මං විතරයි ඈත ඉන්නේ - අම්මගෙ හිතේ නුවර තියෙන්නේ අපෙ ගමේ ඉඳන් එන්න බැරි තරම් දුර කියලා!”
“මම ගාල්ලේ යනකොටත් හිතේ දෙගිඩියාවෙන් ගියේ - අංතිමට අවුරුදු තිහකට වැඩිය එහෙ!”
“අපෙ රස්සාවේ හැටියට දාන තැනකට යන්න ඕනනේ මහත්තයා - මේ ගම කොච්චර ලස්සනවුනත් මිනිස්සු කොච්චර හොඳවුනත් ආංඩුවෙන් කිව්ව්වොත් එන මාසේ ඉඳන් … අ… කැබිතිගොල්ලෑවේ කියලා, මම යන්න එපැයි…. අ… කැබිතිගොල්ලෑව කොහෙද? මම නම විතරයි අහලා තියෙන්නේ!”
එදිරිසිංහගේ කතාවට අපි සේරටම හිනා ගියා. ඒ හිනාවෙන් තේ මේසේ වටා වාතාවරනය සෑහෙන්ට සැහැල්ලුවුනා. අපෙ සාකච්චාවල කිසිම ඇනහිටීමක් හෝ නොගැළපෙන විරාමයක් තිබුනෙ නෑ. අප්පුහාමිගෙ කතාව ඉදිරියට එන්න විනාඩි විස්සක් විතර ගියා.
“කොහොමද මිස්ට එදිරිසිංහ ඔය අට්ටිකා ගහේ පුරාන කතා හොයලා බැලුවේ?”
“ඇත්තටම ඒක මම හිතුවට වඩා අමාරුවුනා…”
මිස්ට එදිරිසිංහට වේදිකාව බාරදීලා අපි නිශ්ශබ්ද වුනා.
“ඉසරවෙලාම මම බැළුවේ නුවර පලාතේ ගැමි කතාවල මේ වගේ ගස්වල ලගින දෙවිවරු ගැන ලියවිලා තියෙනවද කියලා… වැඩි හරියක් අංතර්ජාලෙන් තමයි හෙව්වේ. මං හිතුවට වඩා ලියවිලා තියෙනවා බූමටු දෙයියෝ ගැන… ඒ කියන්නේ පොලවට කිට්ටුව මනුස්සයොත් එක්ක ජීවත්වන දෙයියෝ…ඒ අතරට තමා ගස්වල ජීවතවන වෘක්ෂ දෙවිවරු වැටෙන්නේ. තව අහසේ ඉන්න වැස්සවලාහක දෙවියෝ ගැනත් තව එක එක දෙවිවරු ගැනත් ලියවිලා නමුත් එකක්වත් පලාතකට විශේෂව හඳුනාදීලා නෑ. ඒ නිසා මම ඊලඟට හොයලා බැලුවා මේ පලාතේ ඉඩම් ගැන ඉංගිරිසි ආංඩුව කාලේ තිබුන සටහන්”
“මේවා තියෙන පොත් මුද්‍රනයේ තියෙනවා දැන්. මම ඒවා සල්ලි දීලා නොගෙන පුළුවන් විදිහට පුස්තකාලවල හොයලා බැලුවා. ඒ සී ලෝරි කියලා 1872 ඉඳන් හිටපු මහනුවර නඩුකාරයෙක් එකදාස් අටසිය අනූ ගනන්වල ලියලා තියෙනවා ‘ලංකාවේ මද්යම පලාතේ ප්‍රදේශ වර්ණනය’ කියලා පොතක්. ඒකේ තියෙනවා ඉඩම් අයිති කාරයෝ, මායිම්, ඉඩම් නඩු එහෙම - හැබැයි මිනිස්සු විශ්වාස කරන දේ ගැන නෑ. ඒ පොත් කියවන්නත් අමාරුයි - අපරාද කාල නාස්තියක්! අංතිමට මම ගමේ අයත් එක්ක කතා කරා”
“ගමේ අයගෙන් වෙදමහත්තයා විතරයි කෙලින් උත්තරක් දුන්නේ ‘මහත්තයා - අපේ ගමේ උන්ට පොල් ගෙඩියක් වැටෙනවා දැක්කත් එක්කෝ දෙයියෙක් නැත්තම් යකෙක්! හුලඟ, රිලව්, පොල් හොරු එහෙම ගැන හිතන්නෙ නෑ!’. වෙදමහත්තයා දෙයියෝ ගැන විශ්වාස්සයක් නෑ වගේ!”
අපි සේරම ආයෙත් හිනාවුනා වෙදමහත්තයගෙ වචනෙට.
“පංසලේ උන්නාන්සේ මට දෙවි දේවතාවෝ ගැන අනුශාසනාවක් දුන්නා - දෙවි වරු විස්සකට වැඩිය මතක් කරලා; කතරගම, සුමන සමන්, දැඩිමුන්ඩ එහෙම. හැබැයි අපෙ ගමේ දෙයියෝ ගැන වචනයක්වත් නෑ. නමුත් මිනිස්සුන්ගෙ විශ්වාස ගැනත් ටිකක් කියවුනා…. මම දන්න බුද්ධාගමේ දෙවියෝ ගැන වැඩිය නොකියවුනත් මට දැනුනා අපෙ ස්වාමින්වහන්සේ ගැමියන්ගෙ ඕනෑ එපාකම් ගැන හිතලයි මගෙ ප්‍රශ්න වලට උත්තර දුන්නේ… මට දෙවියෝ සම්පූර්නෙන්ම හිතට ගත්ත එකම එක මිනිහයි හම්බවුනේ - ඒ තමා අර ඇන්ඩිසිංඤෝ කියන මිනිහා”
අයියටයි මටයි හිනහ ගියා. ඇන්ඩිසිංඤෝ ඒ දවස්වල අපිටත් කියලා තියෙනවා දෙයියෝ ගැන. මිනිහගෙ කතා විශ්වාස කරන්න කොච්චර අමාරුද කිව්වොත් ඒ දවස්වල කවුරුත් මෝඩ කතාවක් හරි පට්ටපල් බොරුවක් කිව්වොත් අපි ඇහුවේ “කවුද, ඇන්ඩිසිංඤොද කිව්වේ?” කියලා.
“මට ඇන්ඩිසිංඤෝ ගැන කීප දෙනෙක් කියලා තිබුනා, අට්ටික්කා ගහේ දෙයියෝ සම්බන්දයෙන්. මිනිහා මට හම්බවුනේ ඉස්කෝලේ ලඟ කඩේට ගිය වෙලාවක. මම මිනිහට තේ එකක් අරගෙනදීලා ඇහුවා අට්ටික්කා ගහේ දෙයියෝ ගැන. ඊලඟ විනාඩි පහලවේ මට දැනගන්න ලැබුනා මගෙ අංතර්ජාල, පුස්තකාල සෙවීම් වලදී දැකපු අහපු සේරම කරුණු වලට වැඩිය!”
“ඔය බෝක්කුව කැඩිලා ඒක අලුත්වැඩියා කරන කාලේ මිනිහා ඔය ගහ ලඟ වාඩියක මුරවැඩේ කරාළු මාස ගනනක්. මිනිහා කියන විදිහට අට්ටික්කා ගහේ දෙයියෝ කීප සැරයක් මිනිහට කතා කෙරුවලු. ඒක අමුතු දෙයක් හැටියට මිනිහා දැක්කෙ නෑ වගේ. රෑ දොලහට විතර සුමන සමන් දෙයියොත් එතැනින් එනවා - ‘සමන් පිච්ච සුවඳ එනකොට මම පාරෙන් ටිකක් අයින් වෙනවා!’ කියලා එයා කියන්නේ. මගෙ හිතේ කිසිම සැකයක් නෑ ඇන්ඩිසිංඤෝ මේවා සම්පූර්නෙන්ම විශ්වාස කරා කියලා”
“එතකොට වෙදමහත්තයගෙ අදහස් ගැන මොකද හිතන්නේ?”
මාමා හීනි තංගුස් නූලකින් විශාල මාලුවෙක් ගොඩ ගන්න තැත් කරන කෙනෙක් වගේ බොහෝම සීරුවෙනුයි ප්‍රශ්නේ ඇහුවේ.
“වෙද මහත්තයා බලන්නේ මේක විද්‍යාඥයෙක් බලන විදිහට - භෞතික සාක්ෂි නැත්නම් විශ්වාස කල නොහැකියි කියලා…. නමුත් මිනිස්සු ඊට වඩා සංකීර්ණයි. භෞතික කොටස ඇරුනුකොට මානසික කොටසකුත් ඕනෑ මනුස්සයෙක් වෙන්න. මං හිතන්නේ පංසලේ ස්වාමින්වහන්සෙත් ඒ විදිහට හිතලා කතාකලේ…. කීප දෙනෙක්ම මට ඇන්ඩිසිංඤෝ හම්බවෙන්න කිව්වේ සමහරවිට යටිහිතේ - පිලිගන්න අකමැති වුනත් - ඒ අයගෙත් එහෙම විශ්වාස තියෙන නිසා වෙන්න ඇති කියලා මට හිතෙනවා…. මම ලොකුමහත්තයගෙන් තවම ඇහුවෙ නෑ ඔබ තුමා මොකද හිතන්නේ කියලා අට්ටික්කා ගහේ දෙවියොයි අවුරුදුපතා දෙන පූජාවයි ගැන…”
මාමගෙ මුහුනේ සතුටු සිනාවක් මැවුනා. ඊ ලඟ වචන කීපේ කතාකලේ පුටුවෙන් නැගිටලා.
“මම එදිරිසිංහ මහත්තයට සුභ පතන්න ඕනෑ කරලා තියෙන වැඩ කොටසට. මහත්තයා මේ ගමට ලොකු සේවයක් කරලා තියෙනවා දැනටමත්. මම හොඳටම දන්නවා කවුරුත් මට විරුද්ද වෙන්නෙ නෑ කියලා මම එහෙම කිව්වට. අට්ටික්කා පූජාවට මහත්තයට ඕනම උදව්වක් දෙන්න මම ලෑස්තියි. මේ ගෙදර අනික් අයත් එහෙමයි. මහත්තයා කැමතිනම් මම ගමේ වැදගත් කීපදෙනෙකුට කතා කරන්නම්. අනික මට කියන්නට තියෙන්නේ - මම බලාපොරොත්තු වෙනවා එදිරිසිංහ මහත්තයා මේ අපෙ ගම, මහත්තයගෙත් ගම කියලා හිතාගෙන, දිගටම මේ ඉස්කෝලෙටයි ගමටයි සේවය කරන්ට ලැබෙයි කියලා….”
නැන්දත් වෙලාවකට පස්සේ වචනය කීපයක් කතාකරා.
“මම ඒ කියවුනු සේරටම එකඟ වෙනවා…. ඒ ඇරුනුකොට, මම කැමතියි එදිරිසිංහ මහත්තයගෙ අම්මටයි තාත්තටයි ආරාධදනා කරන්ට, වෙලාවක නුවර ඇවිත්, මේ ගෙදර නැවතිලා මාලිගාව වැඳගෙන, පෙරහැරත් බලාගෙන යන්ට එන්ට කියලා”
පරන පුරුද්දට වගේ කතා පවත්වන ගුරු ජෝඩුව දෙස වෙනුවට මගෙ ඇස යොමුවුනේ එදිරිසිංහගේ කම්මුල දිගේ ගලාඑන කඳුළු වැල වෙතයි.